හැඳින්වීම

 

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 1987 අංක 42 දරණ පළාත් සභා පනත අනුව ඵලදායි රාජ්‍ය සේවයක් බිහි කිරීමේ අරමුණින් ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපනය කර ඇති අතර, ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වේ. 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 33(1) වගන්තිය අනුව මෙම කොමිෂන් සභාව පත්කිරීමේ බලය ගරු ආණ්ඩුකාරවරයා සතුය. පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම. සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධ කටයුතු මෙමගින් සිදුවේ. ගරු සභාපති ඇතුළු සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවේ නිල කාලය වසර 05 කි.

 

 

  ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා බලතල

 

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) අනුව ජනාධිපතිවරයා විසින් පළාත් සභා පිහිටුවා ඇත.එසේ පිහිටුවනු ලැබු පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරීන් පත් කිරිම, මාරු කිරීම,සේවයෙන් පහ කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 32(1) අනුව එම පළාතේ ආණ්ඩුකාරවරයා සතුවේ.
  • එම බලතල 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 32(2) අනුව මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇත. කොමිෂන් සභාව සතු ඉහත බලතල 2021.11.01 දින සිට ක්‍රියාත්මක ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා බලතල පැවරීම යටතේ දෙපාර්තමේන්තු ප්‍රධානින්, අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා ඇත. කොමිෂන් සභා සතු බලතල පැවරීම කලින් කලට වෙනස් විය හැක.

 

 

දැක්ම

 

කාර්යක්ෂම හා ඵලදායි පළාත් රාජ්‍ය සේවයක්.

මෙහෙවර

 

ඌව පළාත් රාජ්‍ය සේවයට අවශ්‍ය මානව සම්පත කාර්යක්ෂමව මාණ්ඩලීකරණය කිරීම තුළින් නිර්මාණශීලී නිවැරදි, ගුණාත්මකභාවයෙන් යුත් තෘප්තිමත් පළාත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම.

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය

 

  • ඌව පළාත් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීමේ පරිපාටි හා ස්ථාන මාරු කිරීමේ පරිපාටි සකස් කිරීම, ප‍්‍රතිශෝධනය කිරීම හා ගරු ආණ්ඩුකාරතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ තරග විභාග පැවැත්වීම, කාර්යක්ෂමතා කඩඉම් විභාග, දෙපාර්තමේන්තු පරීක්ෂණ සහ උසස් කිරීමේ විභාග පැවැත්වීම.
  • ගරු ආණ්ඩුකාරතුමා විසින් බලතල පවරා ඇති තනතුරු සඳහා පත්කිරීම්, සේවයේ ස්ථීර කිරීම්, උසස් කිරීම්, සේවය දීර්ඝ කිරීම් හා විශ‍්‍රාම ගැන්වීම, අන්තර් අමාත්‍යංශ, අන්තර් පළාත් ස්ථාන මාරුවීම් සම්බන්ධ කටයුතු හා මධ්‍යම රජයේ සේවයට මුදාහැරීම.
  • මධ්‍යම රජයෙන් හා අනෙකුත් පළාත් සභා වලින් පැමිණෙන නිළධාරීන් හා සේවකයින් ඌව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයට අයත් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳව ගනු ලැබ ඇති තීරණ වලින් අගතියට පත් පුද්ගලයන්ගේ අභියාචන බලධරයා ලෙසද ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරයි.

Loading